ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව සාක්ෂරතාවය අතින් ලාංකික අපි 92% ප්‍රතිශතයකට ආසන්නව පැමිණ ඇත. හේතුව වක්‍රව හෝ අපේ රට තවමත් නිදහස් අධ්‍යාපනයේ මහඟු තෝතැන්නක් නිසාමය. දේශපාලන රාමුවෙන් පිට අප කවුරුත් සී ඩබි ඩබිලිවි කන්නංගර මැතිඳුනට එහි ගෞරවය පුදකල යුතුමය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ‍ලෙස බොහෝ‍ දෙනා 1931-1934 කාලය හඳුන්වන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සී ඩබි ඩබිලිවි කන්නංගර විසින් හෙබවු නිසාය.ඒ ඔහු එම කාල පරිච්ඡේදය තුල දී අප රටට නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ජාති බේද වත් පොහොසත් කමින් ස්වායත්තව ඕනෑම පුරවැසියකුට උපතේදීම අධ්‍යාපන නිදහස හිමි කල නිසාය. ලාංකික සමාජ ක්‍රමය තුල අප දකින පොදු කරුණකි. ඒ මූලිකවම මධ්‍යම පාන්තික පිරිස හෝ පවුල ප්‍රතිශතයක් ලෙස ඉහල අතර ඊට සමගාමීව ධනපති පවුල සහ දුගී පවුල අඩු ප්‍රතිශතය කි. අසල්වැසි ඉන්දියානු දේශයේ ඇති-නැති පරතරය ඉතා ඉහල ප්‍රතිශතය කි. එම හේතුව නිසාම  ඔවුන්ගේ දුගී දුප්පත්කම විසඳීම ප්‍රායෝගිකව අපහසු වී ඇත. ඒ ආසන්නව බිලියන 1.3 (2018) ක ජනකායකගේ ම අභාග්‍යය යි. අපට එතරම් ඇති නැති පරතරයක් නොමැති අතර,නැවත ලාංකික අප දෙස හැරුනහොත්, මුලින් සඳහන් කල නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා අපට හිමිවන දේ බොහෝය. රටක සංවර්ධනයෙහි එක් මිම්මක් වන සාක්ෂරතාවය අතින් අප ඉහලින්ම ඇත. මේ හේතුව නිසාවෙන්ම බොහෝ රටවල් වලින් ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට ඇත්තේ විශේෂ පිලිගැනීමකි.
ලාංකික නූතන දේශපාලනික න්‍යායන් මේ වනවිට අසාර්ථක වී ඇත.ඒ බව ඔබට, මට හෝ ඕනෑම දේශපාලනමය දැනුම මද පුරවැසියකුටම හෝ අවබෝධ වී අවසන්ය. නමුත්, තවමත් ලාංකික නිදහස් අධ්‍යාපනය රැකී ඇත්තේ ය. අද්‍යතනයේ අධ්‍යාපනික ප්‍රගමනය තුල අපට ඉතිහාසය අහිමිවෙමින් පවතී. ඒ අදේශපාලනික ක්‍රමෝපායන් මේ තුලට කාවැද්දවීමට ලෝක බලවතුන්ගේ උවමනාව නිසාම ය. ඔවුනට නොමැති ශිෂ්ඨාචාරයක් අපට උරුමය. එසේනම්, ඔවුනට නැති ඒ ශිෂ්ඨාචාරය අපට පවා හිමි නොවිය යුතුය යන සංකල්පයන් ඔවුන් තුල ගොඩනැගෙමින් ඇත. ඒ හේතුව නිසාවෙන්ම ලාංකික අනන්‍යයතාවය දිනෙන් දින බටහිරකරණය වෙමින් පවතී. අපට හිමි ඒ සාහිත්‍යය දැනුම අද පාසල් දුවා දරුවනට අහිමි වී ගොසිනි. එකිනෙකා පරයා නැගී සිටීමට 3වන වසරේ සිටම පුරුදු කර යි. ඒ, 5 වසර ශිෂ්‍යත්වය දුවා දරුවන්ගේ ලමා කාලය අහිමි කරමිනි. විශේෂයෙන් ඉහත සඳහන් කල මධ්‍යපාන්තික පවුල් වල දුවා දරුවනගේ හෙට දවස උදෙසා නාගරික පාසලක් වෙත යැවීමට ඇති කෙටිම මාර්ගය මේ විභාගය පමණක්ම නිසාය. දේශපාලන ක්‍රමයෙහි සහ ජාතික ප්‍රතිපත්ති වල වූ දුර්වලතා නිසා මෙලෙසින් සමාජ ප්‍රගමනයක් පසුගිය දශකය පුරාවටම දැකගත හැකි විය.දිවයින පුරා විහිදී ඇති පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට වඩා රටකට බර වැඩි දේශපාලන පක්ෂ බොහෝමයක සිටින ඊනියා දේශපාලකයාගේ නඩත්තු වියදම් ඔවුනගේ මිණුම් දඬුවල ප්‍රමුඛ විය.
​මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩෙවි වල සංසරණය  වූ එක් කරුණක් පිලිබඳව අවධානය යොමු කරමි.ඒ රැකියා නොමැති උපාධිධාරීන් යන පිරිසකගේ හැසිරීම පිලිබඳව යි.ඔවුනගේ ඉල්ලීම රජයේ රැකියාව කි. ඉහත සඳහන් නිදහස් අධ්‍යාපනයේ උපරීම ඵලය නෙලා ගත් ඔවුහු, පලමු වසරේ සිට දහතුන්වන වසර දක්වාම නොමිලයේ සිප් සතර හැදෑරීය. පසුව සරසවි වරම් ද ලද ඔවුහු, වසරකට එම සුදුසුකම සපුරන අතලොස්සට එක් වීය.
ඔවුහු,සරසවි කාලය පුරා මහපොල හෝ සරසවිය මඟින් ලබා දෙන දීමනාව ලබා ගත්හ. වසරකට රුපියල් මිලියන ගනණක් ජනතා මුදල් ඔවුන් වෙත වෙන්කරන ලදී. මෙසේ නොමිලයේ අධ්‍යාපනය ලබා සංවර්ධනය උදෙසා ශ්‍රම බලකායට ඔවුහු එක් වූහ. ජාතික ශ්‍රම බලකාය ලෙස ඔවුනගේ වගකීම රටේ සංවර්ධනය වෙනුවෙන් උපරීම ලෙස දායක වීමයි.එහිදී ඔබ අප කවුරුත් දන්නා රාජ්‍යය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය සුලුපටු නොවේ. වසරකට රාජ්‍යය අංශයේ රැකියා ප්‍රමාණය ප්‍රාමාණිකව ඉතා අඩු වුව ද පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බොහෝමයක් විවෘත වේ. මෙසේ රැකියා අවස්ථා හිමි ඔවුහු, ඉතාම නින්දිත ලෙස රජයේ රැකියාවක් ඉල්ලීම පිලිබඳව ඇත්තේ කණගාටුවකි. අපේ ජාතික ධනයෙන්ම සිප්සතර හැදැරූ ඔවුහු අවසාන ප්‍රථිඵලය ලෙස උපාධියක් පවා හිමි කර ගත්හ.රටට ණයක් නොවී සිටීම ඔවුනගේම වගකීම යි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ 2016 වාර්ෂික වාර්ථාවට අනුව එම වර්ෂය තුල රාජ්‍යය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබූ ප්‍රමාණය 86922 කි. එම වසර තුලම පිටවූ විද්‍යාර්තීන් ප්‍රමාණය 20808 කි. මෙලෙසින් වසරින් වසර සමාජයට විද්වතුන් බිහිවේ. මේ තත්ත්වය තුල පිරිසක් අත්තනෝමතික ලෙස රාජ්‍යය රැකියා ඉල්ලීම කෙතරම් දුරට සාධාරනීකරණය කල හැකි ද?
ඔබට පහත ප්‍රස්ථාර ආශ්‍රයෙන් මේ පිලිබඳව මනා අවබෝධයක් ලබා ගත හැක. සියළුම දත්ත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට අයත් නිල වෙබ් අඩවියෙනි (www.ugc.ac.lk).

වර්තමානයේ අපට අසන්නට ලැබෙන දෙයක් නම් ගෝලීය අවශ්‍යයතාවයනට අනුකූල ලෙස අපගේ උසස් අධ්‍යාපනය යාවත්කාලීන කල යුතු බව ය. බොහෝ විට එය සත්‍යය කි. ගෝලීය ආර්ථිකය මේ වන විට නිෂ්පාදන ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතී. ඒ ඔස්සේ ඊට අනුරූපීව ලාංකික අධ්‍යාපන විෂයයන් ගෝලීය කල යුතුය.විශේෂයෙන් ඉහත ප්‍රස්ථාර වල පෙනෙන පරිදි, කලා විෂයයධාරාවෙන් පැමිණෙන වෘතිකයින්/උපාධිධාරීන්ගේ ප්‍රමාණයට සරිලන රැකියා,වෙලඳපොලේ නිර්මාණය කිරීම වෙනුවට, වෙලඳපොලට අවැසි වෘතිකයින් සරසවි තුල බිහිකිරීම තර්කානුකූල ය,ප්‍රායෝගික ය.

රටින් පිට වැඩ කරන වෘතිකයින්ගේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඉහල යමින් ඇත.එය බුද්ධිගලනය නමි. රට තුල ආර්ථිකය කඩා වැටෙමින් පවතී. මේ ලිපිය ලියන මා රාජ්‍යය විශ්ව විද්‍යාල වලට අමතරව නොමිලයේම උසස් තාක්ෂන විෂයයන් හදාරන ලදී. ඒ ලක් මවගේ ඔබේ මිල මුදල් වලිනි. තමා ඉගෙන ගත් දෙයින් රටට වැඩක් කල යුතුමය,ඒ ණය ගෙවිය යුතුමය. මේ වගකීම අපට පවරන්නේ අප සමාජයක්ම විසිනි. නෛතිකමය වශයෙන් අප එසේ නොබැඳුන ද සදාචාරාත්මකව බැඳී ඇත. උපන් බිමට වැඩ කිරීමට රාජ්‍යය හෝ පෞද්ගලික ලෙස ශ්‍රම බලකාය බෙදා වෙන්කල නොහේ. අප ආදරය කරන මේ ලක්දෙරණ රැක ගැනීම අප කාගේත් යුතුකම ය.වෘතිකයකු වී රට දැය රැක ගැනීම වෙනුවට රාජ්‍යය රැකියාම සිඟමින් යන මේ තරුණ ජවය,වටිනා කාලය වැයකරමින් සිටී.අප හැමගේ වගකීම රාජ්‍ය රැකියාවක් සොයා උද්ඝෝශන කිරීම ද නැතහොත් සිප්සතර හැදෑරූ දැනුම ආශ්‍රයෙන් සමාජයට වැඩක් කිරීම ද? පිලිතුර තමමාගේම හදවතට සහ බුද්ධියට කතාකර අසා දැනගන්න.

සටහන|
චතුර්ක වින්දන හේවගේ.
වරලත් ඉදිකිරීම් කලමණාකරු.
Chartered Construction Manager (MCIOB,UK).
Tags:
  1. ලංකාවේ පුද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිවීම, විශ්‍රාම වැටුප් නොමැති වීම, සුභසාධනය දුර්වල වීම සහ බොහෝ ව්‍යවසායකයන් සේවකයන් කෙරෙහි මානුෂිකව නොසැලකීම වැනි කාරනා රජය මැදිහත්වෙලා සාධනීය ලෙස නිවැරදි කලොත් උපාධිධාරීන් රජයේ රැකියා පෝලිම්වල ලගින එකක් නෑ. ඔබට ඒ සඳහා ලියන්නට තොරතුරු අවශ්‍යනම් ලබාදියහැක.

Leave a Reply