ආසියානු කලාපයේ ඉහලින් වැජඹුන ප්‍රෞඩ ජාතියක් වූ අප, අද එම කලාපයේම ආර්ථික ප්‍රගමනයේ සිටිනා තැන ගැන අපට ඇත්තේ ප්‍රශ්නාර්ථය කි. මීට බලපෑ ප්‍රධාන සන්දර්භ කිහිපයකි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙන් පසුව දේශපාලන හස්තය අතට ගත් එවකට ලාංකික ඉංග්‍රීසි පැලැන්තියට නව්‍යකරණය වූ පවුල් කිහිපය සහ අද වන විට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය යි.අතීතයේ සිටම අපට උරුම වූ ගොවිතැන, කාර්මීකරණය නොවීය. ඒ වෙනුවට, ගොවිතැන පසෙකට වී කාර්මික රැල්ලක් ජනිත කලහ. එය ගෝලීයකරණයට සාපේක්ෂව හොඳ ප්‍රගමනය කි. උදාහරණයක් ලෙස නිමි ඇඳුම් නිෂ්පාදන ක්‍රියාවලිය ගැන බලමු. නිමි ඇඳුම් හඳුන්වා දුන් රාජ්‍යය නායක වූ දිවන්ගත ජනපති ආර්.ප්‍රේමදාස  ගේ වියෝවත් සමඟ සපැමිණි රාජ්‍යය නායකයින් පවතින දේශපාලනික න්‍යායනට අනුව, ආණ්ඩුවක වෙනස් වීම යනු සියලු ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වී නව රජය යටතේ නැවතත් වෙනස් ආර්ථික ප්‍රතිපත්ති වලට මාරු වීම බව ඔප්පු කර පෙන්වී ය. ඒ අනුව, ලාංකික මහජනතාව ආකාර දෙකකින් බැට කති. එනම්, සංවර්ධනය කරා රැගෙන යන ගමන හිටි තැන නතර වීම සහ නව රජයයන් වල අන්තර්ජාතික සම්බන්ධතා හරහා ලබා ගන්නා ණය දීර්ඝකාලීනව ගෙවමින් බදු වලට යට වීම යි. ඒ අනුව, ලාංකිකයෝ දශක ගණනක් පුරාවටම ණය වෙමින් සහ ණ‍ය ගෙවමින් කල් ගෙවති.

Photo Courtesy: www.quora.com

පවතින තත්ත්වය මෙසේ  වුව ද ශ්‍රී ලාංකික තාරුණ්‍යය තවමත් හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියකට උරුමකම් කියන්නේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නටය.නමුත්,අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සංඛ්‍යාලේඛන වලට අනුව ප්‍රාථමික අධ්‍යාපනයෙන් ද්වීතියික අධ්‍යාපනයට පාතබන්නේ ආසන්නව වසරකට 64% ක ප්‍රමාණය යි. ඉතිරිය 36% ක ප්‍රමාණය කි. දෙවනුව ද්වියිතීක අධ්‍යාපනයෙන් තෘතියික අධ්‍යාපනයට පාතැබීමට සුදුසුකම සපුරා ගන්නේ 61% ක ප්‍රමාණය යි. ඉතිරිය 39% ක ප්‍රමාණය කි (1 වන වගුව – 2012-2016 කාල පරාසය ). අප සතු රාජ්‍යය විශ්වවිද්‍යාල 15 කි, උසස් අධ්‍යාපන ආයතන 18 කි.  මීට අමතරව පෞද්ගලික අධ්‍යාපන ආයතන පවා ඉදිකොට ඇත. තත්ත්වය මෙසේ තිබිය දී උසස් අධ්‍යාපනය සහ තාක්ෂනික අධ්‍යාපනය නිම කරන ප්‍රමාණය ගැන ප්‍රායෝගිකව ගැටලු ඇත. ඒ රාජ්‍යය රැකියා අපේක්ෂාවෙන් පසුවන උපාධිදාරීන් යම් යම් කණ්ඩායම් වශයෙන් පෙල ගැසී ඇත. එය සමාජමය වශයෙන් ශෝචනීය තත්ත්වය කි. ඔවුන් නිදහස් අධ්‍යාපනය උපරීම ලෙස බුක්ති විඳි කොටස යි.

1 වන වගුව Source: Department of Examinations

මෙහිදී මා වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ඉහත සඳහන් කල “ඉතිරි” පිරිස ගැන යි. ඒ, ප්‍රාථමික අධ්‍යාපනයෙන් නතර වූ 36% ක ප්‍රමාණය සහ තෘතීයික අධ්‍යාපනයට සුදුසුකම් නොලද පිරිස 39% ක ප්‍රමාණය ගැන යි.ඔවුන්ගේ ඉරනම කෙසේ ද? කොටසක් තාක්ෂන විෂය හදාරා තාක්ෂණඥ්ඥයින් වේ. කොටසක් විදේශ ශ්‍රමික කුලකය පුරව යි. ඉතිරි කොටස රට තුල කුලී වැඩ කරමින් කල් ගෙව යි. ඉතිරි කුලකය මංකොල්ල කෑම් සහ මත්කුඩු,මත් වතුර ඇතුලු ජාවාරම් වල නිරත වෙයි. සමස්ථයක් ලෙස සැලකිය යුතු තාරුණ්‍ය පිරිසක් දුක්ඛිත ජීවන තත්ත්වයකට ඇද වැටෙමින් ඇත. බොහෝ විට සමාජ ප්‍රගමනය සහ සමාජ තත්ත්වයන් උදෙසා සුපිරි තරුවක් වීමට ද මාන බල යි, ඒ කෙටි මර්ග වලිනි. එක් එක් මාධ්‍යය රැවටිලි වලට හසු වෙමින් සිහින වල ජීවත් වෙයි.තව පිරිසක් රෝද තුනක් උඩ කල් ගෙව යි,ඒ ත්‍රීරෝද රථ රියදුරන් ලෙසින්. මොවුහු තම තරුණ ජවය මෙසේ එක් එක් හංදිවල හෝ නගරවල කල්ගෙවීම පුරවැසියකු ලෙස ලැජ්ජා විය යුතු ය. සංඛ්‍යාලේඛන වලට අනුව අප රටට වාර්ෂිකව අලුතින් ලියාපදිංචි කරන ත්‍රීරෝද ප්‍රමාණය ආසන්නව 90,000 ක් පමණ වෙයි (2 වන වගුව – 2012-2017 කාල පරාසය).

2 වන වගුව Source: Ministry of Transportation & Civil Aviation

ගමනාගමන අමාත්‍යාංශ වාර්තා වලට අනුව දැනට ලක්ෂ 12කට ආසන්නව ඇති ත්‍රීරෝද රථ බොහෝමයක් තරුණ ජීවිත සමඟ කාලය ගත කර යි (3 වන වගුව). බොහෝ විට අගනුවර සහ ප්‍රධාන නගර ආශ්‍රිතව නම් මේ ත්‍රී රෝද රථ සහ මත්කුඩු වගේම ගණිකා වෘත්තිය සඳහා පහසුම සහ ලෙහෙසිම ප්‍රවාහන සේවාව සැපයෙන්නේ ද මේ හරහා බව අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.

රාජ්‍යය නායකයින් මෑතකදී ජපාන ත්‍රිරෝද රථයක් ද හඳුන්වා හඳුන්වා දීමට නියමිත යි.එයින් වැටහෙන කරුණ කුමක්ද? තරුණ ජීවිත තව තවත් මේ රෝද තුනට ඇද දැමීම නොවේද? පෙර සඳහන් කල උසස් අධ්‍යාපනය සහ තාක්ෂන ආයතන වසරක් පාසා තාක්ෂනවේදීන් බිහිකිරීමට අරදිනා කාලයේම පාලකයින් විසින්ම එවැනි තීරණ ගැනීම  පිලිබඳ ඇත්තේ කණගාටුවකි.  2017 ඔක්තෝබර් 20 වැනි දින ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිකුත් කල නිවේදනයකට අනුව මාර්ග අනතුරුවල වැඩි වීමට ප්‍රධාන සාධකයක් වූ මෙම රථ ඉන්දියාවෙන් ආනයනය කිරීම නතරකිරීමට තීරණය කල බවයි.  කෙසේ වෙතත් වර්තමාන රජය විසින් ගෙනයන සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද මේ රෝද තුන උපයෝගීකර ගැනීම නම් උපහාසයකි. ආසන්නම කරුණ ලෙස සංචාරකයන්ට හිතකාමී ත‍්‍රී රෝද රථ සේවාවක් ආරම්භ කිරීම සැලකිය හැකි යි (Tuk Tuk Project). සංචාරක කර්මාන්තය දියුණු කිරීම පසෙකෙන් තබා ඒ වෙනුවට රට තුලට පැමිණෙන සංචාරක ප්‍රජාව රෝද තුනක් මත ගමනකට රාජ‍ය අනුග්‍රහය ලබා දෙන අතර ඊට උත්ප්‍රේරකයක් ලෙස 2020 දී ජපානයෙන් සැමුරායි වර්ගයේ විදුලි ත්‍රී රෝද රථයක් ද ආනයනය කිරීමට  සැරසෙ යි. මේ අතීසාරයට අමුඩය ගැසීමක් ලෙස ගැමියා කියූ වදනට කදිම වූ වර්තමාන සාක්ෂියකි. ආර්ථිකමය වශයෙන් එම නිෂ්පාදිත රථ අපනයනය සඳහා නම් ගැටලුවක් නොමැත.නමුත් දේශීය ප්‍රයෝජනය සඳහා නම් ගැටළුව තරමක් බැරෑරුම් ය. නැවතත් තාරුණ්‍යය රෝද තුනක් මතටම කඩා වැටෙ යි.

3 වන වගුව Source: Ministry of Transportation & Civil Aviation

ඔවුන්ව රෝද තුනක් මතට නැංවීම වෙනුවට විය යුත්තේ  තව තවත් තාක්ෂණ විශයයන් වල නිරත කරවීමට පෙලඹ වීම බව නම් කිව යුතුමය .පහත වගුවෙන් ඔබට පෙනේවි ලංකාව තුල රාජ්‍යය අනුග්‍රහයෙන් පවතින තාක්ෂණ ආයතන ගණන (4 වන වගුව).

4 වන වගුව Source: Ministry of Youth Affairs & Skills Development

තාරුණ්‍යය උන්නතියය උදෙසා අප රට තුලම බොහෝ සම්පත් දායකයින්, තාක්ෂණ ආයතන සහ අධ්‍යාපන ආයතන පැවතිය ද මෙතුවක් රට පාලනය කල පාලක පක්ෂයයන් විසින් ගෙන යන අත්තනෝමතික බදු ක්‍රම වැනි ප්‍රතිපත්ති ගැන කලකිරීමක් පමණක් ඉතිරි වෙයි.

ශ්‍රී ලාංකික තාරුණ්‍යය මෙසේ රෝද තුනකට කොටුවෙමින් සහ කොටු කරමින් පවති යි. ඔවුනට නිකරුනේ සිටිමින් මුදල් නිපදවීමට පෙලඹීම අද රැල්ලකි. එසේ තම මනෝ මූලික ෆැන්ටසි ලෝකයකට යන්න වෙර දරන ඔවුනට උත්ප්‍රේරකයක් වීමට ලාංකීය දේශපාලකයාට හැකිවී තිබේ. ඒ ඔවුනගේ ජය පැන් උදෙසා මිස මේ දිවයිනේ සංවර්ධනය උදෙසා නම් නොවන බව සක් සුදක් සේ පැහැදිලි ය. සිහින දකිමින් සිටින සංවර්ධිත රාජ්‍යය කෙමෙන් කෙමෙන් ආර්ථිකමය අවපාතයකට වැටෙමින් තිබේ.තරුණ ජවය නිකරුනේ දැවෙමින් පවති යි. තාක්ෂන ආයතන සිසුවන් සොයමින් පවති යි. කොටසක් කොරියානු සිහින, ඉතාලි සිහින, ජපන් සිහින හෝ බැරිම තැන මැද පෙරදිග සිහින වල ජීවත්වෙ යි. ඉතිරිය මාධ්‍යය වල අනුන්ගේ ගීත ගයමින් සිහින තරු වීමට මාන බල යි. අවසන ඉච්ඡාභංගත්වයෙන්ම රෝද තුනට යටවී මියදෙමින් ජීවත් වෙයි.

සිතන්න කාලය ඇවිදින්!

  • මව් පසින් එතෙරව බර වැඩ කරමින් ජීවත් වෙනවා ද,
  • ත්‍රීරෝද රථයක පාරදිගේ දිවි ගෙවනවා ද,
  • අනවශ්‍යය ව්‍යාපාරවලට එකතුවී නොපෙනෙන හස්තවල බිල්ලක් වෙනවා ද,

නැතිනම්,

ලාංකික අපට ඇති තාක්ෂණ ආයතන වලින් යමක් ඉගෙන ගෙන රටට සම්පත්දායකයෙක් වී මේ රටට යමක් කර ඔබේ තරුණ ජීවිතයට අරුතක් දෙනවා ද?

පිලිතුර තම තමනගේ හෘදසාක්ෂිය හා ගලපා බලන්න.

Photo Credit: Siyatha News

සටහන | චතුර්ක වින්දන හේවගේ

30/07/2018

Published – https://www.thetruth.lk/archives/34965

 

 

 

Tags:

Leave a Reply