ඔබ නිසා මා | Because you are, I am
මම, ඔබ සහ කාලය පිලිබඳ සංකල්පයෙන් ලොවත් සමඟ බැඳී පවතිමි. ඔබ කාලය කලමනාකරණය සම්බන්ධව ඕනෑතරම් අභ්‍යාසයයන් වල නිරතව ඇති.මේ ලොව තුල එක් එක් ප්‍රාණීනට ඇත්තේ තම තමනට අදාල ජීවීත කාලයකි. උදාහරණයකට මනුශ්‍යය අපගේ උපරීම ජීවන කාලය අවුරුදු 120 ලෙස සලකත්. ඉබ්බාගේ ජීවිත කාලය ආසන්නව ශතවර්ෂ එක හමාරකි,සාපේක්ෂව මිනිසාගේ නම් බොහෝ විට පරම්පරා 2ක් හෝ 3 කි. ඔබ අප දන්න කෘමි සතුනගේ ජීවිත කාලය ප්‍රාමාණිකව අපට සාපේක්ෂව අඩු කාලයකි. බොහෝ විට අවුරුදු නොව,මාස නොව, දින කිහිපයකි. සාගරය තුල සිටිනා එක් එක් ජීවීන් අතර ඇත්තේ ද ගොඩබිම සිටිනා අප මෙන්ම විවිධ වූ ආයුෂ කාලයන් ය. ජීව විද්‍යාවේ සඳහන් වන ලෙස කැස්බෑවා ආසන්නව අවුරුදු 150 ක් පමණ ජිවත් වෙයි. සත්ත්ව ලෝකයේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින සතුන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ සාගරය තුල බව ඔබ දැන සිටියා ද? වැඩිම ජීවින කාලයක් ගත කරන්නේ, එක් මතයකට අනුව මුහුදු ජීවියෙක් වන බෙල්ලෙකි.ඒ උතුරු අත්ලාන්තික් සාගරයේ ජීවත් වන Ocean Quahog Clam නම් මුහුදු බෙල්ලා ය. වාර්ථාවන පරිදි ආසන්නව අවුරුදු 507 කි. අපේ  නම් පරම්පරා 8කට හෝ ඊට ආසන්න අගයකි. අනෙක් මතයට අනුව, මධ්‍යධරණී මුහුදේ ජීවත් වන Turritopsis Dohrnii (immortal jellyfish) නම් ජෙලිෆිශ් වර්ගය හඳුනවති. Turritopsis Dohrnii ජෙලිෆිෂ් යනු “ජීව විද්යාත්මකව අමරණීය” යයි කියනු ලබන අතර එයින් අදහස් කරන්නේ වයසට හෝ බාහිරින් සිදුවන හානිය ඔවුන්ගේ ශරීරය පිරිහීමට පටන් ගැනීමෙන් පසුව ද ස්වභාවිකව නැවත ඔවුනට ජීවත් විය හැකි අයුරින් ශරීරය සැකසීම යි.
සත්ත්ව ලෝකයේ වැඩිම ආයුකාලයන් විඳින ජීවීන් 10 – පිවිසෙන්න මේ ලිපියට. 
ඉහත සඳහන් සියළු අගයයන් මිනිසා විසින්ම වටහා ගත් කාලයන් බව කිව යුතුය. මොහොතකට සිතමු, දින ගණනක ජීවිත කාලයක් ජීවත් වන කෘමියාට නම් එය ඔහුට සාපේක්ෂව දිගු කාලක් නොවේ ද? කෘමියන් දින ගණනක ජීවන ගමන තුර ඔවුනගේ ජීවන චක්‍රයේ සියළුම ඉනි පැන යයි. ලැබුනු ආයුෂ භුක්ති විඳ මියැදෙ යි. අපට නම් එය ඉතා කුඩා කාලය කි. සංකල්පමය වශයෙන් සාපේක්ෂ ආයු කාලයක ජීවත්ව සිට මියැදෙ යි.අප දකින-විඳින ලෝකය කෙනෙකුට ඉතා කෙටි කාලයක් වන අතර තවෙකුට දිගු කාලයකි. ඒ අපට සාපේක්ෂව ය. කාලය යන හුදු සංකලපමය වපසරියක සිට මේ ලොව ග්‍රහණය කරමින් ජීවත් වෙයි. දින ගනිමින් මතු අනාගතයට පිඹුරුපත් ද සකසයි. එක් එක් දේ සසඳමින් ජීවිතය ගෙව යි. මේ ජීවන ගමන තුල,
අපේ නෑදෑ හිතමිතුරන් ගේ ඉපදීම් හෝ මියැදීම කොතෙකුත් භුක්ති විඳිති. එනයින් කාලය හුදු මායාවක් බව අප මහා කාරුණික ගෞතමයන් කොතෙකුත් දේශනා කලහ.
අප මේ දකින සියල්ලෙහි මායාව නම්, ඔබට හෝ මට හෝ අනුව එකිනෙකාට පෙනෙන-දැනෙන ලෝකය, ලෝකයන් කිහිපයක් මිස එකක් නොවෙ යි. එය එකිනෙකාගේ දෘෂ්ඨිමායාවට ගෝචර වන්නා වූ ප්‍රපංචය කි. එනම්, ඔබේ ලෝකය සහ මේ සටහන ලියන මගේ ලෝකය එකක් නොව,දෙකකි. ඉහත සඳහන් කල ශතවර්ෂ එක හමාරක් ජීවත් වන ඉබ්බාගේ සහ උපරිම ආයු විඳින මිනිසාගේ ද අමතරව දින ගණනක පමණ ජීවත් වන කෘමි සතකුගේ ද එකිනෙකාට වෙනස් ලෝක මිස, එකම ලොවක් නොවන බව කිව හැක.
නූතන භෞතික විද්‍යාවට අනුව මිනිසාට ශ්‍රවණය කල හැකි ශබ්ද සංඛ්‍යාත පරාසය 64 Hz-23000 Hz ක් වන විට වවුලා 2000 Hz-110000 Hz ක පරාසයක් ශ්‍රවණය කරයි. එනම් ඔබට ශ්‍රවණය කල නොහැකි පරාසයක් ඌට ශ්‍රවණය කල හැකිය. ඔබ සිතන ලොවේ පරාසයට වඩා වැඩි යමක් මේ පරිසරයෙන් ඔහු අත් විඳිමින් සිටිත්. එසේ නම් අප සහ ඔහු ග්‍රහණය කරගන්නා ලෝකය (Perceive) එකක් නොව, දෙකක් බව වැටහේ. මෙය ඉතා සරල පැහැදිලි කිරීමකි.
මේ අයුරින්ම අපේ දෘෂ්ඨිය ද පරාසයක පිහිටා ඇති බව ඔබත් මමත් හොඳින්ම දනී. අප භෞතික විද්‍යාවේ දී හදාරා ඇති පරිදි වර්ණාවලිය නිසා අප වටා ඇති වස්තූන්ගේ පැහැය ඇස මඟින් හඳුනා ගනී. ඔබ මම දකින වස්තූන් වල වර්ණ, එලෙසින්ම සත්ත්ව ලෝකයේ අනෙක් සතුන් නම් නොදකිත්. උදාහරණ කිහිපයක් පහතින් දක්වමි.
සතුන් දකින ලෝකය, බලන්න වීඩියෝව – How animals see the world

තමනට හිමි වූ මාංශමය අවයව හරහා ලෝකය අත්දැකීමක් කර ගනී. එම නිසා අප පරිපූර්ණව දන්නා දෙයක් නැත (limited perception beings). නොදන්නා දෙයක් නොමැති බව සිතමින් සිටීම කෙතරම් නම් විහිලුවක් ද? අප දකින ලෝකයේ මායාව හෙවත් අස්ථිර සහ නිත්‍යය නොවන බව අප මහා ගෞතමයන් පැහැදිලි කලේ මීට අවුරුදු 2600 කට පෙර වන අතර, උන් වහන්සේ බෞද්ධ දර්ශනය හෙවත් සොබාදම් න්‍යාය විස්තර කර දුන් දහම තුල එදා දඹදිව් තලයේ තිබූ මනස පිලිබඳ න්‍යායන් / සංකල්ප වලට අලුත් ආලෝකයක් වැටුණු බව නම් කිව යුතු ය. යෝග දහමට අනුව මිනිසා සතු චක්‍රයන් හරහා අපේ සිතුවිලි විශ්වය සහ සම්බන්ධ වනවා. මිනිස් ශරීරයේ ප්‍රධාන වශයෙන් චක්‍ර 7කි, රූප සටහන බලන්න.
කොඳු ඇට පෙළ එක් එක් පුද්ගල විඥානයේ පදනම ලෙස යෝග දහමේ සඳහන් කර යි.අපගේ මනසේ ක්‍රියාකාරීත්වය සඳහා සිතුවිලි සුසුම්නාවට සම්බන්ධ විය යුතුය. භෞතික ශරීරයේ කොඳු ඇටපෙල, අපගේ මනසෙහි මූලික ආධාරක ව්යුහයයි. අපේ එදිනෙදා ක්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍යයවන ස්නායු සංඥා සියල්ලම, කොඳු ඇට පෙළේ ඇති ස්නායු සෛල ආශ්‍රිතව ගොඩ නැගෙන බව ද සඳහන් කරති.ඉතිං, ඔබ අප දන්නා බාහිර ලෝකයෙහි රූප යනු, බාහිරින් ලැබෙන සංඥා අපගේ ස්පර්ශක ආයතන පහ වන ඇස,කණ,නාසය,දිව සහ සම හරහා සුසුම්නාවට ගොස් ඒ හරහා මොලයෙන් මෙසේ යැයි හඳුනා ගන්නා තත්ත්වයකි.එසේ නම් අපගේ දෙණුවන් හරහා දිවයන සංඥා, සුසුම්නාවට ගොස් ඒ හරහා මොලය මඟින් ජනිත වන රූප වලින් පෙන්වන්නේ ද යම් කිසි කාල පරාසයක් තුල දෘශ්‍යය වන ඡායා මනෝභ්‍රාන්තියක් (Hallucination) නොවේද? නොඑසේ නම් සියලූම ජීවීනට එකසේ පෙනෙන සැබෑම ස්වරූපයන් ද? (උදා:ප්‍රායෝගික ලෝකයේ ප්‍රොජෙක්ටරයේ හෝ රූපවාහිනියේ ක්‍රියාකාරීත්වයට සසඳා බලන්න). මේ බව අපට සරළවම නොතේරෙන වගක් අප විසින්ම ගොඩනගාගෙන නොවේ ද? මේ සොබාදම් න්‍යාය බව තේරුම් ගැනීමට නොහැකි ද? ගෞතමයන් දේශනා කල පරිදි විශ්වය යනු බඹයක් තරම් වූ මේ අපේම කයින් දැකිය හැකි සංකල්පමය වටපිටාවක් නොවේ ද? ආගමික පරිශ්‍රයෙන් තොරව නිදහස්ව සිතන්න. 
වීඩියෝව – Your brain hallucinates your conscious reality
The Profile: Prof.Anil Seth (Cognitive Neuroscientist)

අදටත් සොබාදම විසින් විචිත්‍රවත් ලෙස මිනිසා නිර්මාණය කරත්. එනම්, මිනිසා සත්ත්ව ලෝකයට සාපේක්ෂව සිතීමට හැකි මහඟු චින්තන පරිධියක් උපතින්ම උරුමකොටගෙන පැමිණෙත් ය. කෙසේ වෙතත් අපට උපතේදී ලැබෙන ජීව හුස්මත් සමඟ අරඹන මේ ජීවන ගමන මනස මූලික කොටගෙන දිවයත්.නොඑසේ නම් පෙර සඳහන් මතකයන් ගබඩා කොටගෙන මේ ජීවන ගමන ඉදිරියට යමින් පවති යි. එනම්, අතීත මතකය නොමැතිව ඔබට කිසිවක් පවතින බවක් කිව හැකි ද? සරල උදාහරණයක් ගනිමු. මේ මොහොතේ අප කවුරුත් දන්න “සීගිරිය” මතකයට ගනිමු. සීගිරිය පිලිබඳ ඔබේ මනසේ ගලාඑන සිතුවිලි දහරාව සහ වෙන අයකුගේ ඒ පිලිබඳ ගලා එන දහරාව එකක් ද? නැත. ඔබ සිතන සීගිරිය, මේ මොහොතේ පවතින සීගිරිය ද නැතහොත් කලින් සිත තුල ගබඩා කොට ගත් රූප පෙලෙක් ද? ඇත්තටම, කලින් සිත තුල තැම්පත් කොට ගත් සිතුවිලි හෙවත් සංඥා රූප පෙලෙකි. එසේ නම් මෙසේ ඔබ සිතන සියලූම දෙය කෙතරම් ස්ථිර ද?

සීගිරිය | (source: www.elegantsrilanka.com)

අතීතය, මේ මොහොත සහ නොපැමිණි අනාගතය යන ත්‍රි කාලයට අනුරූපව මනසෙහි හැසිරීම පිලිබඳ ගෞතම දහමෙහි ඉතා නිරවුල්ව සඳහන් වෙයි.මීට සියවස් ගණනකට පෙර බටහිර ජාතීන් මේ පිලිබඳව දරපු අදහසක් නැත. නමුත් මෑත ඉතිහාසයේ ජර්මානු ජාතික අධ්‍යාත්මික ගුරු Ekhart Tolle ගේ “නිශ්චලත්වයේ කථනය (Stillness Speaks)”සහ “සැනසීමට මග (The Power of Now)” යන ග්‍රන්ථයන් මේ මොහොතේ ඇති වැදගත් කම සහ අතීතය සහ අනාගතයේ මනසින් ජීවත් වන අපට එහි වූ නිස්සාරත්වය ගැන ප්‍රකාශ කරත්. මොහු නිසා බටහිර ජාතීන් ආධ්‍යාත්මික මග වෙත නැඹුරුවීමෙහි නව ප්‍රවනතාවයක් පවතින බව සඳහන් කරති.

Eckhart Tolle | (source: www.nondualteacher.com)

කියවන්න…
නිශ්චලත්වයේ කථනය Stillness Speaks

සැනසීමට මග The Power of Now

මේ ලිපියෙහි අවසන් අදියරට පිවිසෙමි. මේ ඔබ-මා දකින ලොව,කාලයෙහි සහ රූපයෙහි ඇති නිස්සාර බව නිසා මනස මූලිකව මවා ගත් ලොවකි. මෙයට ආගමක්, ජාතියක්,කුලයක් හෝ ලිංග භේදයක් හෝ නොමැත.මෙවැනි වූ තාවකාලික වටපිටාවක් තුල අප ජීවත් වුව ද, මිනිසා යනු සත්ත්ව ලෝකයේ පෙරලිකාරීව සොබාදහමට විරුද්ධව කටයුතු කරන එකම බුද්ධිමතා ය. අප විසින් මේ මිහිතලයට කෙරෙනා ව්‍යාකූලතවයන් නියාවෙන් අපේම වල අප විසින්ම කපා ගෙන අවසන් ය. එක් තත්පරයක් තුල මේ නිල් පැහැති ග්‍රහලොව ධූලි වලාවකට පත් කල හැකි න්‍යෂ්ටික විභවයකින් සන්නද්ධ ඊනියා බුද්ධිමත් මිනිසා, පොලෝ තලයේ අනෙකුත් සත්ත්වයන්ගේ ද සම අයිතිය පැහැරගත් හ.

ජීවිතය යනු මේ මොහොතේ “පවතිමින් – නැතිවෙමින් – ඇතිවෙමින්” ගලායන සිතුවිලි දහරාවන් වලින් සෑදුන විශ්වීය ධර්මතාවයකි. “මම” යැයි සිතන දෘෂ්ටිවාදය (Ideology) යනු මනසේ පොදි බැඳගත් අතීත සංඥා වල එකතුවකි. එසේ නම් මේ මොහොතේ “මම” යන ඇතිවෙන-නැතිවෙන පුද්ගල සංඥා වල මනා අවබෝධයෙන් ඔබ ජීවත් වනවා ද, ඔබට සැබෑ “මම” සොයාගත හැක.මෙසේ ඔබ ඔබව හඳුනා ගත් දිනට මේ ලොව කෙතරම් සුන්දර වූ තාවකාලික වාස භූමියක් කල හැකි නොවන්නේ ද? ඒ, නූපන් මතු පරපුර උදෙසාම ය.මේ මා තේරුම්ගත් කාලයේ සහ රූපයේ මායාව ය.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං

සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී – ධම්ම පදය (යමක වග්ගය)

කාලය සහ මම!
සටහන | චතුර්ක වින්දන හේවගේ
26.08.2018


Tags: , ,

Leave a Reply