රටක උගත් පිරිස සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක් මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප, ආර්ථික විද්‍යාවට අනුව තවමත් දියුණු වෙමින් පවතින රටකි. මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය නූතන දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි. ඒ,මේ රට කුඩා ස්වාධීන රාජ්‍යක් බවත් පරිපාලනික වශයෙන් අපට ඉහල ප්‍රතිපත්ති ඇති බවත් ය. නොයෙක් පාට වලින් පක්ෂ තිබුන ද ඔවුන්ගේ දැක්ම එකම දිශානතියකට තිබිය යුතුම බවත්ය. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ගෘහ සේවිකාවන් ලෙස පිටට විකිණූ මවගෙන් මුදල් හම්බකරගෙන දුවන රටක් ලෙස අප හංවඩු ගැසී අවසන් ය. දකුණු ආසියාවෙන් අරාබිකරයට වහල් ගෘහ සේවිකාවන් ලෙස අපනයනය කරන රටවල් අතර අපි ඉහලින්ම සිටී.අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය ද එසේ නොකර යි. නේපාලය,බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අන්ත දුගී ගෘහ සේවිකාව විකුණන් කන දකුණු ආසියාතික රටවල්ය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2017 වසරේ දී විදේශ සේවයට රටින් බැහැරවූ ප්‍රමාණය 212,162 කි. මෙයින් 50% ක ප්‍රතිශතයකට වඩා සාමාන්‍යය ශ්‍රමිකයින් බව ඔබට වැටහේ වි. ඒ වගුව ඔබට නෙතට කඳුලක් ගෙන ඒම වැලැක්විය නොහැක.හෙට දවසේ අනාගතය ගැන සිහින දකිමින් දුගී පැල්පතේ සිටින ඒ දුවා දරුවන් උදෙසා තම ජීවිතය කැප කරන අපේ මේ ප්‍රජාව ගැන කාගේ පිහිටක් ද?
Source:ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (www.slbfe.lk)
ඇත්තෙන්ම, අප සිටිය යුතු තැන මෙතන ද? අපට මේ ක්‍රමය හැර වෙනත් පිලිවෙතක් තිබේ ද? සාක්ෂරතාවය අතින් ඉහලම ස්ථරයේ සිටින අප මේ දේශපාලන මුළාවට රැවටී සිටීම කාලෝචිත ද?  මේ දේශපාලන න්‍යාය එදා සිට අද දක්වා කලේ මෙවැනි දේ මිස නිෂ්පාදන ආර්ථිකයකට මුල්ගල තැබීම නොවෙයි.  අපිව මව විකුණන් කන රටක් කලේ කවු ද? මේ මිනිස් ජාවාරම නැවත්විය යුතු ය. ගෘහ සේවයට කාන්තාව නොයැවිය යුතු ය. විකල්ප සෙවිය යුතු ය. දේශපාලකයා මුණිවත රැකීම අනුමත කල නොහැක.විදේශ විනිමයෙන් පමණක් රටක් දියුණු කල නොහේ.එයට වඩා “පර්යේෂන සහ සංවර්ධන (Research and Development)”වැඩපිලිවෙලවල් හරහා අපේ දැණුම නව නිර්මාණ හරහා ලොවට වැපිරිය හැකිය. එය ඊශ්‍රායලයේ ක්‍රියාපටිපාටිය යි.“විදෙස් ශ්‍රමිකයා” වෙනුවට “විදෙස් ආයෝජකයාව” රට තුලට ගත යුතුය. ඔවුනට ව්‍යාපාරයක් කිරීමට අවැසි මූලික ඒකකය වන බලශක්ති ඒකකයට (Power Unit / Energy Unit) අවම මිලක් ලබා දිය යුතුය. ඊශ්‍රාලය වැනි ප්‍රතිපත්ති රටෙහි ස්ථාපිත කල යුතුය. ඒ හරහා බහු ජාතික සමාගම් සමග එකඟතා ගිවිසුම් ගසා මේ රට ගොඩ ගත යුතුය.

ප්‍රධානම සාධකය වන දේශපාලකයා හොඳ “චින්තකයෙකු” මිස “වාචාලයෙකු” නොවිය යුතු ය. අවම සුදුසු කමක් ලෙස උපාධියක් තිබිය යුතුම ය. ඔවුන්ගේ චින්තන පරාසය පුළුල් විය යුතු මිස, කට වාචලයකු හෝ මඩ ගසා ගනිමින් ඇඟිලි දුගු කර ගනිමින් අනෙකාගේ කෙන්ද කන්දක් ලෙස ජනමාධ්‍ය හරහා සමාජගත කිරීමට වෙහෙසෙන “හිස් චරිතයක්” නොවිය යුතු ය. බුද්ධිමත් මිනිසුන් ඔවුන්ව ප්‍රතික්ෂේප කල යුතුම ය. තව තවත් බොරු වදන් සමාජය පිලිකුල් කල යුතුම ය. පිරිපුන් මිනිසුන් රට භාරගත යුතු ය. ගමේ ව්‍යවහාරික බසින් නම් ” විසිල් විතර යි,බල්ටි නැහැ” නොවිය යුතු ය. ඔවුන්ව වේදිකාවෙන් පාර්ලිමෙන්තුවට යැව්වේ වැඩ කිරීමට මිස කොමිස් ගැසීමට නොවේ. මුල්ගල් තිය තියා රටේ “සුපර් ස්ටාර්” කිරීමට නොවේ. පටන් ගත් දේ සාර්ථකව නිම කල යුතුමය. පියාගේ දේශපාලන අනුහස් දුවා දරුවනට අවැසි නොවේ.ඔවුන්ද මේ සමාජයේම කොටස් කරුවන් මිස “චරිත” නොවේ.ඔවුන්ද  එකසේ වැඩ කල යුතුම ය. මේ අපේ රට මිස මගේ රට නොවේ. අපේ නම් එය පොදු තීරණයක් විය යුතුය. කවුරුත් පිම්බීමට හෝ පිම්බවීමට මහන්සි ගත යුතු නොවේ. මේ පින් බිම අපේ මතු අනාගත දුවා දරුවනට රැකීම කල යුතුම ය. 

දේශපාලකයා යනු,වන්දනාමාන කල යුතු හෝ ඇදහිය යුතු පුද්ගලයකු නොවන අතර, ඔවුන්ගේ පසුගිය ධූර කාලයන් තුල රටට සංවර්ධනය උදෙසා සිදු කල ව්‍යාපෘති ඇගයීම සිදු කල නමුදු, ඔවුනව පිදිය යුත්තක් ද අවැසි නොවේ.ඒ ඔවුනගේ වගකීමය.ඒ,පණනල තිබෙන සියළූම ලාංකිකයින් උකස් කර ඉල්ලා ගත් ණය මුදල් වලින් සිදු කල කාර්යයන් මිස අන් කිසිවක් නොවේ.හඳුනා ගත් පරිදි,ඔවුහු ජනතා නියෝජිත පිරිස යි.ඔවුහු වැඩ කල යුතු ය. මේ ඔවුන්ව නමදින කාලය නොවේ.ඔවුන්ගෙන් වැඩ ගත යුතු කාලය යි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය.තම තමන්ගේ නැණ පමනින් ලෝකය,වටපිටාව,සිද්ධීන් වැනි සියල්ල දෙස බැලිය හැක.කෙනෙකුට “හරි” දේ තවෙකුට “වැරදි” ය. නමුත් පුළුල් මනසින් හෝ දේශපාලන පක්ෂ වලින් ස්වායත්තව යමක් දෙස බලන පුද්ගලයා විය යුතු දේ දකී.තිස් වසරක කුරිරු යුද්ධ අවධියක වූ අමිහිරි සිදුවීම් අපට මතකය. ඒ, එය වින්ද නිසාවෙනි.මේ යුද්ධය මුවාවෙන් “යුධ සරණාගත” යන කැටගරිය ඔස්සේ එක්සත් රාජධානිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි සමහර රටවල පුරවැසි බව ලබා ගත් අය අප අතර බහුලය.ඔවුහු තම සුඛවිවරණය උදෙසා මේ ඊලාම් යුද්ධයට මූල්‍යමය සහයෝගය දුන් බව නොරහසකි.ඒ ඔවුන් මෙම ඊලාම් සටන හිඟන්නාගේ තුවාලය කරගත් බැවිනි. දැන් වෙඩි බෙහෙත් වල යුද්ධයක් නැත.නමුත් ඊලාම් යුද්ධය ඒ අයුරින්ම ය. දේශපාලනික වශයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වෙනත් මුහුණුවරකින් මෙය සැලසුම් කරගෙන සහ පිඹුරුපත් සාදාගෙන ය. ඒ හරහා ඉහත කියූ රටවල සිටින ඊනියා යුධ සරණාගත නඩය මෙයට සහයෝගය උපරිමයෙන් දෙති.මන්ද, නැතහොත් මොවුනට නැවතත් මේ රටටම පැමිණීමට සිදුවන බැවිනි. ඒ ඔවුන්ගේ න්‍යාය පත්‍රයයි. ඉතිං, අපි තව පාට වලට බෙදෙමු. මෙතුවක් කාලයක් රට ගොඩ නගන්න හදනවා,තවම අපොහොසත්.මවු-පිය උරුමයෙන් සහ පවුල් සීමිත ප්‍රමාණයක් පාලනය කල අපේ අනාගතය, ණය බරින් නූපන් දරුවන් පවා පීඩිත කිරීමට කටයුතු කලා. නිදහසින් පසු දශක ගණනක් තවමත් මොවුනගේ පසු පසින් යන අපේ මහජනයා, එකක් දැන ගත යුතු යි.දරු පවුලක් තනිකර දමා මැදපෙරදිග ගිය අපේම අම්මලා වගේම සහෝදර සහෝදරියන් රටට කරපු දායකත්වයක් සහ දේශපාලකයා රටෙහි ආර්ථික දියුණුව වෙනුවෙන් කල දායකත්වය අතර පරතරය අහසට පොලව වගේ බව.ඒ අය දහඩිය සහ ලේ සමඟ මව්බිමට මුදල් එව්වා, ඔවුහු ඒ මුදල්ම එක් එක් ක්‍රම උපායන් හරහා රටින් පිට මුදල් තැන්පත් කලා.මේක නොතේරෙන අපේ අය පාට කුලක හදාගෙන ඔවුන්ව නමදිනවා.

මේ ටික තේරුම් ගන්න උත්සුක වෙමු. මේ එක ශ්‍රී ලාංකිකයකු ගේ දෝංකාරය යි. මෙය “පොදු දෝංකාරය ක්” නොවන තාක්කල් තව අවුරුදු 100 කටවත් අපට ගොඩ යා හැකි ද?

පිලිතුර තම තමන් අතේ ය…

සටහන | චතුර්ක වින්දන හේවගේ

Tags:

Leave a Reply